වාර්තාගත අමෙරිකානු ජනාධිපතිවරණය

November 8, 2020 at 4:53 pm | LankaTAB
වාර්තාගත අමෙරිකානු ජනාධිපතිවරණය

2020 අමෙරිකානු ජනාධිපතිවරණය නිමාවට පත්වන්නේ වාර්තා රැසක් ඉතිහාසයට එක් කරමිනි.

ඒ, බයිඩන් අමෙරිකාවේ තේරීපත් වූ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසත් කමලා හැරිස් එරට පළමු කළු ජාතික උප ජනාධිපතිනිය ලෙසිත්ය.

ජෝසප් රොබිනෙට් බයිඩන් හෙවත් ජෝ බයිඩන් 1942 නොවැම්බර් 20 වැනිදා පෙන්සිල්වේනියාවේදී උපත ලැබූ අතර ඔහු සිය මව් පිය දෙපාර්ශ්වයෙන් බ්‍රිතාන්‍ය-ප්‍රංශ සම්භවයක් සහිත පුද්ගලයකු වීම විශේෂත්වයකි.

ඔහු 1968 වසරේදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකත්වය ලබාගනිමින් සක්‍රීය දේශපාලනට පිවිසියේය.

කෙසේ වෙතත්, ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් වෙන්ව ගොස් ඩිමොක්‍රටික් පක්ෂයට එක්වන්නේ, හිටපු ජනාධිපති රිචඩ් නික්සන්ගේ ප්‍රතිපත්ති තමන්ට නොගැලපෙන බව පවසමිනි.

1972 වසරේදී ජෝ බයිඩන් පළමුවරට සෙනේට් සභාවට තේරී පත්ව තිබේ.

කෙසේ වෙතත් එම වසරේදීම සිදු වූ රිය අනතුරකින් බයිඩන්ගේ බිරිඳ සහ දියණිය ජීවිතක්ෂයට පත්වුයේ ඔහු සහ ඔහුගේ පුතුන් දෙදෙනා තනි කරමිනි.

අනතුරින් කම්පනයට පත්ව සිටි බයිඩන් සිය දිවි නසා ගැනීමට පවා තැත් කළ බව පැවසේ.

ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනය ඔස්සේ ඉදිරියට ගිය ඔහුගේ ගමනේ කූඨප්‍රාප්තිය වූයේ 2008 – 2016 කාලසීමාවේදී ජනාධිපති බැරක් ඔබාමා යටතේ එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවීමය.

මෙවර ඔහු ජනාධිපතිධුරයට පත්වන්නේ 77 වැනි වියේදී වන අතර ඒ අනුව ඔහු අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වේ.

ඔහු ලබාගත් ඡන්ද මිලියන 74, මෙතෙක් ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයෙක් හිමිකර ගත් වැඩිම ජන්ද ගණන වේ.

බයිඩන් ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ අමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වන්නේ දකුණු ආසියානු සම්භවයක් සහිත කළු සමක් සහිත වන කමලා හැරිස්ය.

1964 වසරේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි දී ජැමෙයිකානු ජාතික පියෙකුට දාව දකුණු ඉන්දීය දමිළ ජාතික මවකගේ කුසින් උපන් කමලාගේ මේ ජයග්‍රහණය අමෙරිකානු කාන්තාවක් අත්පත්කරගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකේ.

Leave a Comment

Related News