නව අමාත්‍යාංශ 2 ක් බිහිවේ – ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත පවරා ගනී..

November 23, 2020 at 8:21 am | LankaTAB
නව අමාත්‍යාංශ 2 ක් බිහිවේ – ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත පවරා ගනී..

ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශ පවත්වාගෙන යාමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  බලාත්මක වීම සමඟ ආරක්ෂක අමාත්‍යාංශය නැවත ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

තාක්ෂණ හා මහජන ආරක්ෂක නමින් නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් පිහිටුවීමත් ඊට අදාළ විෂය පථ වෙන්කිරීම සඳහා පසුගිය 18 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය,ත්‍රිවිධ හමුදාව,රාජ්‍ය බුද්ධි සේවාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බලකාය හා මිලෝදා ආයතනය අති විශේෂ ගැසට් නිවේදනය යටතේ පවරා ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව අයත් වේ.

එසේම චමල් රාජපක්ෂ මහතා යටතේ පැවතී රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉවත් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට එය පවරාගෙන ඇත.

මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව තාක්ෂණ අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවරා ඇත.

 

අලුතින් පිහිටුවා ඇති නව අමාත්‍යාශ දෙක සඳහා කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් ඉදිරියෙදී දිවුරුම් දීමට නියමිතය.

Leave a Comment

Related News