නිර්මාණකරුවාගේ ප්‍රධාන අවිය භාෂාවයි.
සන්නිවේදනය යනු මානව සමාජයේ ජීව රුධිරයයි. එකිනෙකා අතර අදහස් තොරතුරු හුවමාරු කිරීමේ අවශ්‍යතාවයත් සමඟ ප්‍රාථමික අයුරින් ආරම්භ වූ සන්නිවේදනය අදවන විට පුළුල් අවකාශයක් දක්වා විකාශනය වී ඇත. පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ පවතින හැඟීම් සිතුවිලි මුදා හරිමින් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කිරීමේ නිර්මාණාත්මක සන්නිවේදන කලාව බිහි වීමද මෙහි ප්රතිඵලයකි.
සන්නිවේදනයේ විශිෂ්ට සොයා ගැනීමක් වූ මානව භාෂාව සොයා ගැනීමට මත්තෙන් විවිධාකාර වූ නිර්වාචික සන්නිවේදන ප්රවේශයන් මඟින් සිය අත්දැකීම් සන්නිවේදනය කිරීමට ප්‍රාථමික සමාජයේ මානවයා පෙළඹී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන් ස්වභාවධර්මයෙන් ලබා ගත් විවිධ වර්ණ භාවිතය, කටහඬ, අභිනය යනාදිය උපයෝගී කර ගනිමින් නිර්වාචික වූ සන්නිවේදනයකට ආදි මානවයා යොමු වී ඇත. ප්‍රාථමික සමාජයෙහි සරල අන්දමින් පැවැති සන්නිවේදන ක්‍රියාවලිය, භාෂාව බිහිවීමත් සමඟ සංකීර්ණ අන්දමින් ව්‍යාප්ත වී ඇත. මානව චින්තනයේ ආරම්භය සිදුවන්නේ මානව භාෂාවේ සොයාගැනීමත් සමඟ වීම ඊට හේතුවයි. මෙය නිර්මාණාත්මක සන්නිවේදනයේද විශේෂ සන්ධිස්ථානයකි.
නිර්මාණාත්මක සන්නිවේදනයේදී මිනිසුන්ගේ විඥානය, ලෝක දෘෂ්ටිය, ඔවුන්ගේ රසාස්වාදය, බුද්ධිය, සෞන්දර්යාත්මක ආකල්ප, යනාදී සියල්ල හසුරවන ප්‍රධාන අවිය වන භාෂාව, ප්‍රේක්ෂක තෘප්තිය සහ රසවින්දනට බලපෑම් කරන ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයයි. ඕනෑම මාධ්‍යයක නිර්මාණාත්මක ප්රවේශයන්හිදී භාෂාව විවිධත්වයක් සහිත වූ ආවේණිකතාවයන් මත යොදා ගැනෙන අතර විශිෂ්ට මාධ්‍ය භාවිතයක නියමුවා ලෙසද භාෂාව පිළිගැනීම වරදක් නොවේ.
කෙසේ වෙතත්, වත්මන් ජනමාධ්‍ය විකාශන ක්‍රියාවලිය තුළ වුවද මෙම භාෂාවේ භාවිතයන් පිළිබඳ නිරන්තරයෙන් සාකච්ජා කෙරෙනු දැකිය හැක. ලේඛනකරණයෙන් තොරව ජනමාධ්‍යයක් නොපවතින බව අප දන්නා කරුණකි. ජනමාධ්‍යය ආයතනයන්හි සේවය කරන වගකීම් සහගත ජනමාධ්‍යවේදීන් හා නිර්මාණාකරුවන් ලෙස භාෂාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය කාරණයකි. සාවද්‍ය භාෂාත්මක ප්රභේදයන් වෙනුවට ග්රාහක ප්‍රජාව සුපෝෂණය කිරීමට අදාළව යහපත් හා නිවැරදි භාෂා භාවිතයෙන් සන්නද්ධ වීම සන්නිවේදකයාගේ වගකීමකි.
තවද, භාෂණය, ලේඛණය, රූපණය, විවරණය හා කථනය යනාදී ඕනෑම භාෂාත්මක ප්‍රභේදයක් තුළ ජීව භාෂාවක් ලෙසින් සිංහල භාෂාව භාවිතයට ගැනීමේදී එහි සම්මතය හා අසම්මතය පිළිබඳ දැනීම ජන මාධ්‍ය හා සම්බන්ධ සියලු ලේඛක ලේඛිකාවන්, රූපණ ශිල්පීන් ඇතුලු සමස්තයට පැවතීම අවශ්‍ය වේ. එය හුදෙක් පාඨකයින්ගේ රසඥතා වර්ධනය වෙනුවෙන් නිර්මාණශීලීව බස යොදා ගැනීම හා ජීව භාෂාවේ ආත්මය ආරක්ෂා කරවන ප්‍රධාන සාධකයක් වේ.
වත්මන් මාධ්‍ය භාවිතයන් පිළිබඳ අවධානයේදී නිවැරදි අර්ථ සන්නිවේදන රහිත වූ කථන හා ලේඛණ ශෛලින් උජාරුවට භාවිත කරන අපූරුව අසන්නට දකින්නට ලැබේ. බොහෝ විට ඔවුන් යොදාගනු ලබන වචන අවිද්‍යාත්මක වේ.අර්ථශුන්‍ය වේ.
මේ අනුව වටහා ගත යුතු කාරණය වන්නේ ගෝලීය මාධ්‍ය සංස්කෘතිය තුළ සියල්ල වෙනස් වීමේ ප්‍රථිපලයක් ලෙසින් භාෂා පැවැත්මේ පසුබිම වුව සම්පූර්ණයෙන්ම සම්මත පවිත්රත්වයෙන් පවත්වාගෙන යා නොහැකි වුවද, එය එසේ යැයි පිළිගෙන මළ භාෂාවක් ලෙසින් සිංහල භාෂාවේ පරිහානිය වෙනුවෙන් කටයුතු කිරීම නොව, සංස්කෘතික අනන්‍යතාවයක් වූ ලාංකේය භාෂාවේ භාෂාත්මක හැඩය රැකීම වෙනුවෙන් සියලු නිර්මාණකරුවන් වගකීමකින් යුක්තව භාෂාව පරිහරණය කිරීමයි.
බාහිර කථිකාචාර්ය චතුරංගි අභේෂිකා
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය