වත්මන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පර්යේෂණයන්හි වලංගුභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ සෑහිමකට පත්විය හැකිද?
ශාස්ත්‍රීය පර්යේෂණයක් යනු නව දැනුමක් ලබා ගැනීමේ අරමුණින් සිදුකරන ව්‍යායාමයකි. ශික්ෂණගත ඥානයක් ලබා දීමේ අරමුණින් ලෝකයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද හා න්‍යාය සිද්ධාන්තයන්ට අනුකූලව කරනු ලබන ගැඹුරු ක්‍රියාවලියක් ලෙස ද ශාස්ත්‍රීය පර්යේෂණය හඳුනාගත හැකිය. විද්‍යාත්මක සහ ප්‍රමිතිගත ක්‍රමවේද මත පර්යේෂණ සිදුකිරීම තුළින් එහි වූ වලංගුභාවය සහ විශ්වසනීයත්වය තහවුරු වීම සිදු වේ. විද්‍යාත්මක විධික්‍රමය සැබෑ ඥානය ගොඩනැගීමට ඉවහල් වන අතර විද්‍යාත්මක වූ සැබෑ ඥානය පර්යේෂණයක වලංගුභාවය හා විශ්වසනීයත්වය ආරක්ෂා කරනු ඇත.
ඕනෑම පර්යේෂණ ක්‍රියාවලියකදී අධ්‍යයනයට භාජනය කරන පර්යේෂණ ක්ෂේත්‍රය, අධ්‍යයනයට භාජනය කරන ශාස්ත්‍රීය ගැටලුව, එම ගැටලුව හඳුනාගෙන ඇති දැනුම් රාමුව, අධ්‍යයනයට හසුවන සෙසු පර්යේෂණ ප්‍රශ්න සහ පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත විධික්‍රම යනාදී සියලු අංග ඇතුළත්ව සකසන ශාස්ත්‍රීය පර්යේෂණ යෝජනාවලියේ පටන් අවසානය දක්වාම පර්යේෂණයේ විශ්වසනීයත්වයත්, වලංගුභාවයත් ආරක්ෂා කිරීම පර්යේෂකයාගේ වගකීමයි.
ලෝකයේ බොහෝ රටවල ඉතා සාර්ථක හා ප්‍රශස්ත මට්ටමේ ශාස්ත්‍රීය පර්යේෂණ ඉදිරිපත් වුවද ලංකාවේ තත්ත්වය පිළිබඳ අපට එතරම් සතුටු විය නොහැක. විශේෂයෙන් කොරියාව වැනි රටවල නාට්‍ය කලාව දියුණු කිරීම සඳහා පර්යේෂණවල වලංගුභාවය හේතු වී තිබේ. තවද ඉන්දියාව වැනි රටවල් වල වුවද මේ තත්ත්වය එසේමය. නමුත් ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස් වේ. වසරකට ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණ කොයි තරම් ප්‍රමාණයක් සිදු වුවද ඒවායේ වලංගුභාවයන් පිළිබඳ ගැටලුවක් පවතී. මෙවැනි තත්ත්වයක් ඇති වීමට මූලික වන කාරණා කිහිපයකි.
විශේෂයෙන් වත්මන් තරඟකාරී අධ්‍යාපන රටාව තුළ ඉතා කෙටි කාල සීමාවක් තුළ පර්යේෂණ සිදු කිරීමට පෙළඹෙන බොහෝ පර්යේෂකයින් අතින් කිසිවිටෙකත් වලංගුභාවයක් සහිත හා විශ්වසනීයත්වයක් තැබිය හැකි පර්යේෂණයක් සිදු වනු ඇතැයි සිතිය නොහැක. අධ්‍යාපනික හෝ වෘත්තිමය අපේක්ෂාවක් මුල් කොට ගනිමින් සිදු කරන ප්‍රමිතියෙන් තොර පර්යේෂණ රැසක් බිහිවීමද මේ අතර තවත් අර්බුදයකි. ලාංකේය විශ්වවිද්‍යාලවලට සමගාමීව සළකාබැලීමේදී ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි පර්යේෂණ කොපමණ ප්‍රමාණයක් වසරකට ඉදිරිපත් වන්නේද යන්න ගැටලුවකි. බොහෝ පර්යේෂකයින් පෙර සඳහන් කළ පරිදි සිය උපාධි අවශ්‍යතාවන් සම්පූර්ණ කරනු පිණිස මිස නව ඥානයක් සම්පාදනය කරමින් ප්‍රායෝගික තලයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අත්හදා බැලිය හැකි මාධ්‍ය පර්යේෂණ සිදු කරන්නේද යන්න කාලෝචිත අර්බුදයයි.
මීට අමතරව පර්යේෂණ සිදු කිරීමට යොමු වන පර්යේෂකයා පමණක් නොව පර්යේෂණ අධීක්ෂකවරුන් විසින් නිවැරදි මාර්ගෝපදේශනයන් ලබා නොදීමත් මෙහි තවත් පැතිකඩකි. විශේෂයෙන් ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ නිපුණතා සහිත සුළුතරය හැරුණු කොට අන් සියල්ලන්ටම අවශ්‍ය කරන පර්යේෂණ ඥානය නොමැති වීම හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණ ක්‍රමවේදයන් පිළිබඳ පර්යේෂකයාව දැනුවත් කිරීමට අදාළ දැනුම ප්‍රමාණවත් නොමැති වීම අභාග්‍යට කරුණකි.
මාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණ ආශ්‍රිතව යොදාගත හැකි පිළිගත් න්‍යාය සංකල්ප හා ආකෘති යනාදී අංග සහිත වූ ශාස්ත්‍රීය පර්යේෂණ පසුබිමක අඩුව ලාංකේය පර්යේෂණ ක්ෂේත්‍රය තුළ දැඩිව පවතින බව කිව යුතුය.
තවද, ලාංකේය පර්යේෂණ පසුබිම තුළ භාවිත කරන ඇතැම් මූලාශ්‍ර පිළිබඳව අපට එතරම් සෑහීමකට පත්විය නොහැක. පර්යේෂණයක වලංගුභාවය සහ විශ්වසනීයත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් ලෙස මෙම මූලාශ්‍ර භාවිතය සඳහන් කල හැකිය. විශ්වවිද්‍යාල මට්ටමින් කෙරන බොහෝ මාධ්‍ය පර්යේෂණ වලදී වැඩිමනක් භාවිත කරන මූලාශ්‍රයක් ලෙස ග්‍රාහක සමීක්ෂණ වාර්තාවල එන දත්ත යොදා ගැනේ. එම දත්ත පමණක් යොදා ගැනීම කොයිතරම් දුරට පර්යේෂණයේ වලංගුභාවය සහ විශ්වසනීයත්වය ආරක්ෂා කරයිද යන්න විවාදිතය. එමෙන්ම ඉතා සීමීත මූලාශ්‍ර ප්‍රමාණයක් මත සිදුකරන හෝ පෙර කරන ලද පර්යේෂණයන්හි දත්ත නැවත නැවත භාවිත කරමින් සිදු කරන බොහෝ පර්යේෂණ කාර්යන්හි ශාස්ත්‍රීය වටිනාකම අඩුව යන බව සඳහන් කළ යුතුය.
විවිධ පර්යේෂණ ආයතන මගින් සිදුකරන ශාස්ත්‍රීය පර්යේෂණයන්වලදී ඊට අදාළ විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කිරීම හෝ යොදා ගනු ලබන නියැදිකරණයන් තුළ ක්‍රමවත් බවක් නොමැති වීම වර්තමානයේ දැකිය හැකි තවත් ගැටලුවකි. ප්‍රමාණවත් නොවන පක්ෂග්‍රාහී නියැදිකරණයන්හි දත්ත පර්යේෂණයන්හි වලංගුභාවයට කොයිතරම් සාධාරණයක් ඉටු කරයිද යන්න අවධානයට ගත යුත්තකි. පර්යේෂකයාගේ පහසුව මත පමණක් නියැදිකරණයේදී සැළකිලිමත් වන අතර එම නියැදිය අදාළ පර්යේෂණයේ අවසාන උපන්‍යාසය සනාථ කිරීමට කොයිතරම් දුරට ප්‍රමාණාත්මක වේද යන්න පිළිබඳවත් ගැඹුරින් පසක් කළ යුතු මනාය. නිදර්ශනයක් ලෙස අප සාකච්ජා කරන ආචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ යාචකයින් පිළිබඳ පර්යේෂණය වඩාත් ප්‍රශස්ත මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණයක් ලෙස දැක්විය හැකිය. සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමවේදය පදනම් කරගනිමින් එය සාර්ථක අයුරින් කරන ලද පර්යේෂණයක් බව පිළිගත් මතයයි. කෙසේ වෙතත්, වර්තමානයේ මෙවැනි නිරීක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් හා වැඩි කාල සීමාවක් වැය කරමින් සිදුකරන පර්යේෂණ ඉතා අල්ප වේ. පෙර සඳහන් කළ පරිදි එය වෘත්තීමය හෝ උපාධි අපේක්ෂාවෙන් කරන තවත් එක් කටයුත්තක් විනා ශාස්තීය මට්ටමින් කරන හා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිය හැකි ගැඹුරු පර්යේෂණ කාර්යයක අගය ආරක්ෂා නොකරයි.
වෙනත් රටවල මෙන් පර්යේෂණ කාර්යයන්හිදී රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් ලබා දෙන පහසුකම් පිළිබඳ මෙරට පර්යේෂකයින් මෙන්ම අධීක්ෂකවරුන් ද සෑහීමකට පත් නොවන අයුරු දැක ගත හැකිය. ඇතැම්විට සමාජය මුල්කොට ගෙන කෙරෙන පර්යේෂණ බොහොමයක් වෙත ඔවුන්ගේ අවධානය හසු නොවන්නට හේතුව වී ඇත්තේද මූල්‍යමය අර්බුදය විය හැකියි.
මීට අමතරව ඕනෑම පර්යේෂණයක් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස පළ කිරීමේ ක්‍රමවත් ක්‍රියාපටිපාටිය අද වන විට අයාලේ ගොස් ඇති බව පැහැදිලිය. තම අභිමතය පරිදි ඕනෑම පර්යේෂණ කාර්යයක් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට අලෙවි කිරීමේ ක්‍රියාවලිය නූතනයේ සාමාන්‍යකරණයට පත්ව ඇත. මෙහිදී කිසිඳු විශ්වසනීයත්වයක් නොමැති සහ සමාජගත නොවිය යුතු පර්යේෂණයක් වුව සමාජගත වන අතර එවැනි පර්යේෂණ පරිහරණය කරමින් නව පර්යේෂණයන්හි නියැළෙන පර්යේෂකයින් අතින් සිදු වන්නේ ද වඩා ප්‍රශස්ත පර්යේෂණ සංස්කෘතියක් මෙරට ඇති කරයි යන අනාගත බලාපොරොත්තුව විනාශ කිරීම නොවේද? මෙනිසා විශ්වසනීයත්වය සහ වලංගුභාවය සහිත ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමේදී තිබිය යුතු කැපවීම සහ උනන්දුව මෙන්ම නියමිත ක්‍රමවිධි අනුගමනය කිරීම පර්යේෂණය කරන්නා තුළ පැවතීම පර්යේෂණ කාර්යය සාර්ථක වීමට අවශ්‍ය වේ. නූතනයේ ජන මාධ්‍ය සහ අන්තර්ජාලය පෙරටු කොට ගත් යුගයක ජීවත් වන මිනිසුන්ට එයින් මිදීමට නොහැකි වී ඇති අතර එවන් පසුබිමක වඩා සාර්ථක වූ ලාංකේය පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් කැප විය යුතු කාලය එළඹ ඇති බව පසක් කළ මනාය.
බාහිර කථිකාචාර්ය චතුරංගි අභේෂිකා
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය