ජනපතිගේ තෛපොංගල් දින පණිවිඩය

January 14, 2021 at 11:51 am | LankaTAB
ජනපතිගේ තෛපොංගල් දින පණිවිඩය

අස්වනු නෙලීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන දෙමළ ජනයාගේ මුල් පෙළේ ආගමික සංස්කෘතික උළෙලකි. එය ස්වභාවධර්මය හා බැඳුණු, කෘෂිකර්මය මත පදනම් වූ පාරම්පරික ජීවන රටාව සහ භෝග වගා සරු කිරීමට උපකාරී වූ සූර්යයාට කෘතඥතාව පුද කිරීම සනිටුහන් කරයි. හින්දු ධර්මානුකූලව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස ද සලකති. එකී සොම්නස භුක්ති විඳින අපේ සහෝදර දෙමළ ජනතාව සමග මම ද සතුටු සිතින් එක් වෙමි.

ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වූ නැවුම් සහල්, කිරි හා මුසු කොටඉතිර වීමෙන් තමන්ටත්, තම පවුලටත්, රටටත් සහ සමස්ත ලෝකයාටත්
සෞභාග්‍යය උදා වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලූ ජනතාවට සෞභාග්‍යය උදා කිරීම මගේත්, අප රජයේත් ඒකායන පරමාර්ථයයි. අප රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි අඩංගු වන්නේ ඊට මග පාදන ක්‍රියාදාමයයි.

කළගුණ සැළකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයකි. නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කරන තෛපොංගල් උත්සවය අපේ සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංකේතවත් කරයි. මේ නිසාම තෛපොංගල් මංගල්‍යය ජාතික සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබේ.

මානව සමාජයේ බුහුමනට පාත්‍රව ඇත්තාවූත් යහගුණ සලකුණු කරන්නාවූත් තෛපොංගල් උළෙලට එක්වන ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට මගේ සුභාශිංසන පිරිනමමි.

Leave a Comment

Related News