නිතර ඇස ගැටෙන සමනලුන්ටත් වඳවීයාමේ තර්ජන
තාක්ෂණය පමණක් ලුහුබඳිමින් සිටින වත්මන් මිනිසාගේ ක්‍රියා පටිපාටිය නිසා පෘතුවි ගෝලයේ ස්වභාවික ක්‍රියාවලිය උඩු යටිකුරු වෙමින් පවතියි. මිනිසාගේ මෙම ප්‍රවනතාවන්ගේ සීමා මායිම් ස්වභාව ධර්මය අභිබවා යාමට තරම් අකාරුණික වීම හේතුවෙන් වෙනස්වන පරිසර තුල්‍යතාවය ජීවී විශේෂ බොහොමයකට වඳ වී යාමට අත වනන බව නොරහසකි.ලෝකයේ පවතින ජෛව විවිධත්ව උණුසුම් කලාප 36 අතුරට ශ්‍රී ලංකාව වැනි කුඩා දුපතක් අයත් වන්නේ එහි ජෛව විවිධත්වය ඉහල මට්ටමක පවතින බව මුළු ලෝකයටම පසක් කරවමිනි. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති තුල සුවිශාල කාර්ය භාරයක් ඉටු කරන සත්ව විශේෂයක් පිළිබඳව ඉතා සරලව විමසා බැලීමට අපි තීරණය කලේ මොවුන් සුරැකීමට ඔබටත් වක්‍රාකාරව හෝ දායක විය හැකි නිසාවෙනි. මන්ද, මෙය හුදෙක් වත්මන් පරිසරවෙදින්ටම පමණක් සීමා වූ කාර්යයක් නොවන බැවිනි.
ශාකවල ආහාර නිෂ්පාදනයේ පරාග වාහකයින් ලෙස වටිනා සේවාවක් සපයන කුඩා සත්ව විශේෂයක් වන සමනලුන් මේ වන විටත් පරිසර පද්ධතියක අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී අවසන්ය. මොවුන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවදි අනෙකුත් සතුන්ගේ ආහාර ප්‍රභව ලෙස ක්‍රියා කරමින් ආහාර දාමය තුල වැදගත් කාර්යයක් ඉටු කරයි. ඉතාමත් වර්ණවත් හා අලංකාර සත්ව විශේෂයක් වන මොවුන්ගේ සෞන්දර්යාත්මක වටිනාකම මිල කල නොහැකි අතර සංචාරක ව්‍යාපාරයටද සැලකිය යුතු ආර්ථික වටිනාකමක් එක් කරයි.එමෙන්ම පාරිසරික ගුණාත්මකභාවයේ දර්ශකයක් ලෙසද මොවුන් භාවිත කරයි.
විද්‍යාත්මක වර්ගීකරණයන්ට අනුව සමනලුන් Arthropoda වංශයට , Insecta (කෘමින් ) වර්ගයට හා Lepidoptera ගෝත්‍රයට (Order) අයත් වේ. හිස, උරස, උදරය ලෙස කොටස් 3 කට බෙදුණු දේහය හා කයිටින් වලින් සැදුන පිට සකිල්ලත්, ශරීරයට සම්බන්ධ පද යුගල 3 ත් යන කරුනු පදනම් කරගනිමින් මොවුන් කෘමි වර්ගය යටතේ වර්ග කර ඇත. වැඩිහිටි අවධියේදී උදරයට සම්බන්ධ පාද කෘමින්ට නොමැති අතර ඒවා උරස් වලට පමණක් සීමා වේ. ශාඛනය වූ වායු නල සහිත ශ්වසන පද්ධතියක් මොවුන්ට ඇති අතර එය විවරයක් හරහා දේහය මතුපිටට විවෘත වේ. මී මැස්සන්, කුහුඹුවන්, මදුරුවන් වැනි සතුන්ද මෙම වර්ගයට අයත් වේ.
Lepidoptera ගෝත්‍රය යටතේ පවුල් (families) 6 කට අයත් සමනලුන් විශේෂ 248 කට පමණ ශ්‍රී ලංකාව වාසස්ථාන සපයන බවට ශ්‍රී ලංකාවේ සමනලුන් සංරක්‍ෂණය කිරීමේ සංවිධානය ( Butterfly Conservation Society of Sri Lanka ) මේ වන විට තොරතුරු අනාවරණය කර ඇති අතර Papilionidae , Pieridae , Riodinidae, Lycaenidae, Hesperiidae සහ Nymphalidae යනු එම පවුල් හයයි. දැනට හඳුනාගෙන ඇති සමනලුන් විශේෂ අතරින් විශේෂ 31 ක් ශ්‍රී ලංකාවට අවේණික වේ. ශ්‍රී ලංකාව කුඩා දුපතක් වුවද එහි දේශගුණික හා භූ විද්‍යාත්මක ලක්ෂණ මෙන්ම ශාක ව්‍යාප්තියේ විවිධත්වය හේතුවෙන් මෙලෙස සමනලුන් විශේෂ රැසකට වාසස්ථාන සපයයි. සමහර විශේෂ දිවයින පුරාම ව්‍යාප්ත වී ඇති අතර එම ප්‍රදේශවල ජෛව විද්‍යාත්මක සාධක මත ඔවුන්ගේ සාපේක්ෂ සුලභතාවය වෙනස් වේ. තවත් සමහර විශේෂ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වී ඇති අතර සමහර විශේෂවල ව්‍යාප්තිය ඔවුන්ටම අවේනික වූ ප්‍රදේශයකට පමණක්ම සීමා කරයි.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ ප්‍රධාන කොටස් කරුවාගේ සංරක්ෂණයට ප්‍රථම මොවුන්ගේ මුලික තර්ජන ක්‍රියාවලි හඳුනාගැනීම යෝග්‍ය වේ. තර්ජනයට ලක් වී ඇති සමනලුන් විශේෂ බහුතරයක් තෙත් කලාපයට සීමා වී ඇත. තෙත් කලාපීය වනන්තර බොහොමයක් කෘෂිකර්මාන්තය සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා එලි පෙහෙළි කිරීම නිසා මේ අහිංසක සතුන්ගේ වාසස්ථාන ඔවුන්ට අහිමි වී ඇත. මොවුන්ගේ ආහාර ප්‍රභව හිඟ වන්නා සේම විලොපිකයන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවයද මෙමගින් වැඩි වේ. බොහෝ සමනලුන් මොවුන්ගේ ප්‍රජනන සමයේදී තම සහකරුවන් සොයාගැනීමේ අරමුණින් කීලොමිටර් ගණනාවක් උස හුදෙකලා ස්ථාන කර පියඹා යන හැසිරීම් රටාවක් පෙන්වයි. වර්තමානයේ බොහෝ කඳු මුදුන් සමතලා කර විදුලි සන්දේශ කුළුණු ඉදි කිරීම සඳහා වෘක්ෂලතා ආදිය ඉවත් කිරීම හේතුවෙන් මොවූන්ගේ සංසර්ගයේ යෙදීමේ ධාරිතාවය අඩු වීම කෙරෙහි සෘජු බලපෑම් ඇති කරයි. පසුගිය වසර කිහිපය තුල සිදු වූ සීඝ්‍ර නාගරීකරණය හා සංවර්ධන ක්‍රියාවලීන් සමග ශ්‍රී ලංකාව තුල විශාල තෙත් බිම් ප්‍රමාණයක් ගොඩ කරනු ලැබූ අතර මෙය සමනල් විශේෂ කිහිපයකට විශාල බලපෑමක් ඇති කර තිබේ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැකගත හැකි සමනල් විශේෂ 2ක් වන Euploea phaenareta සහ Idiopis similis මේ වන විට කොළඹ ප්‍රදේශයේ තෙත්බිම් වලින් අතුරුදන්ව ඇත. වෙරලබඩ ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධති විනාශකරමින් සිදුවන හෝටල් කර්මාන්ත ව්‍යාප්තිය නිසා මෙමෙ ප්‍රවනතාව දිගටම පවතිනු ඇත. ආක්‍රමණශීලී ශාක යනු සමනල් ජනගහනය මෙන්ම දේශීය ශාක ප්‍රජාවද තරඟකාරී ලෙස විස්ථාපනය කරන තවත් සාධකයකි. මෙවැනි ශාක සමනලුන්ගේ හා කීටයන්ගේ ආහාර ප්‍රභව විනාශ කිරීමට සමත් වේ. Panicum maximum , Prosopis juliflora, Clidemia hirta, සහ Wedelia trilobta යනු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ආක්රමණශීලී ශාක විශේෂ කිහිපයකි.
සමනලුන්ගේ ජීවන චක්‍රය බිත්තර , කීටයා , පිලවා, සුහුඹුලා ලෙස අවධි 4 කින් යුක්ත වේ . මෙම සම්පූර්ණ ජීවන චක්‍රය සඳහා සති 3 සිට මාස කිහිපයක් දක්වා දීර්ඝ විය හැක. සමනලුන් යනු ඉතා කෙටි ආයු කාලයක් හිමි සත්ව විශේෂයක් වන අතර මොවූන් සංරක්ෂණය කිරීමේදී ජීවන චක්‍රයේ මෙම සියලුම අවධීන් පිළිබඳව සලකා බැලිය යුතු වේ. කීටයන්ගේ ආහාර පැළෑටි සහ පිලවන්ගේ වාසස්ථාන වන ශාක මින් ප්‍රධාන වේ. ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති එක කීට විශේෂයක් හැර අනෙකුත් සියලුම කීට විශේෂ ශාක භක්ෂක වේ. බොහොමයක් කීටයන් ශාක පත්‍ර ආහාරයට ගන්නා අතර සමහර කීටයන් මල්, පලතුරු හෝ බීජ වර්ග ආහාරයට ගනි. පිලවුන් ශාක පත්‍ර ආධාරයෙන් සාදාගත් කෝෂ තුල, වියලුනු පළතුරක් තුල, මියගිය දැව කොටස් තුල හෝ දිරායන කොළ රොඩු අතර ජීවත් වේ. පිළවා අවධිය සාමාන්‍යයෙන් සති 1 සිට 2 දක්වා කාලයක් පැවතියද සමහර විශේෂ මාස කිහිපයක් වුවද පිළවා අවධිය ගත කරයි. සාමාන්‍යයෙන් මල් පැණි වලින් පෝෂණය වන වැඩිහිටි සමනලුන් අතර සමහරුන් ඉදුණු පලතුරු , දහදිය, ගොම සහ මියගිය කකුළුවන් ආහාරයට ගනී.
සත්ව විශේෂ සංරක්ෂණය යනු හුදෙක් ඔවුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක් නොවන අතර අනාගතයේ ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීම සඳහා සුදුසු වාසස්ථාන සහ සම්පත් සැපයීමේ ක්‍රියාපටිපාටියක් ලෙස හැඳින්විය හැක. මේ සඳහා විවිධ ක්‍රිමෝපායන් හඳුනාගෙන තිබුණද ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කිරීමේ යම් යම් අපහසුතා පවතියි. මේ වන විට ස්වභාවික පරිසරය තුල තර්ජනයට ලක්වී ඇති විශේෂ තෝරාගනිමින් ස්වභාවික තත්වයන්ට සමාන පරිසරයක ඔවුන් අභිජනනය කිරීමෙන් පසුව වැඩිහිටි සමනලුන් ජනගහනයේ මුල් වාසභුමියට මුදා හැරීම කල හැකිය. මීට අමතරව තමන්ගේ ගෙවත්ත තුලම සමනලුන්ට සුදුසු වාසස්ථාන සපයා දෙමින් ඔබටත් සමනලුන් සංරක්ෂණයේ කොටස්කරුවෙකු වීමේ හැකියාව පවතියි. මෙහිදී ඔවුන් ආහාර ලෙස භාවිත කරන උණ, අඹ, කිතුල්, කපුරු, ජම්බෝල, නුග, රත්මල්, ගල්කරඳ, අක්කපාන, අරලිය, කනේරු, කතුරු මුරුංග, අනෝදා, බෙලි සහ කජු වැනි ශාක ගෙවත්ත තුල වගා කරමින් සමනලුන් ආකර්ෂණය කර ගත හැක. පිලිපීනය, උගන්ඩාව, කෙන්යාව වැනි රටවල් කිහිපයක් සමනලුන් වගාව විශාල පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන අතර මහජන ප්‍රදර්ශනය සහ දැනුවත්කිරීම් මගින් ඔවූන් අමතර අදායමක්ද උපයාගනි. ශ්‍රී ලංකාව තුලද මෙවැනි සංරක්ෂන ක්‍රියාවලීන් කිහිපයක් සිදුවෙමින් පවතින අතර හුදෙක් සැලසුම් සහ වාර්තාවලට පමණක් සීමා වූ සංරක්ෂණයට තිත තබමින් සොඳුරු මිහිතලයක් අනාගතයට තිලිණ කරමු.
තක්ෂිලා සේනානායක